ශ්‍රී ලංකා දේශපාලනයේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් පසුගියදා සලකුණු කළේය. ඒ රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන, උසාවියට ඉදිරිපත් කර, උසාවි නියෝගයක් අනුව බන්ධනාගාර ගත කිරීමයි. රනිල්ට මාංචු වැටුණේ කාගේවත් වරදින් නොව ඔහු විසින්ම කර ගත් අපරාධමය වරදක් නිසාය. මෙය ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ මින් පෙර කිසිදාක සිදු නොවූ විරූ එකකි. එය අද නීතිය සැමට එක සමානව ක්‍රියාත්මක වන බව පෙන්වීමට සුදුසු ම උදාහරණයයි.
රනිල් වික්‍රමසිංහ අපේ රටේ නීතියට ඉහළින් සිටි ‘ගෝඩ් ෆාදර්‘ ය. රනිල් අපේ රටේ නීතිය, උසාවි නියෝග, තුට්ටුවකටවත් ගණන් ගත්තේ නැත. ජනමතයෙන් නොව, ඓතිහාසික අරගලය පැවති අවස්ථාවේ ප්‍රභූ පැලැන්තියේ ‘කුමන්ත්‍රණයකින්‘ බලය උදුරා ගත් රනිල්, පුංචි ඡන්දය තියන්න නාම යෝජනා පවා බාර ගන්නාතුරු ‘බකන්නිලා‘ හිඳ, ‘ඡන්ද නෑ ඡන්ද නෑ. ඡන්ද තියන්න සල්ලි නෑ‘ කියමින් එදා ප්‍රජාතන්ත්‍රවාදයට අකුල් හෙළුවේය; අධිකරණයට කොකා පෙන්නුවේය. එතැනින් නොනැවතුණු ඔහු ඒ අවස්ථාවේ රජය සතුව තිබුණු සොච්චමත් අව භාවිත කළ බවට අද චෝදනා ලැබ තිබේ. ‘මිස්ට ක්ලීන්‘ කියා තමන් ම ලේබල් අලවාගෙන සිටි ඔහු අද නිර්වස්ත්‍රව, නිග්‍රහයට පාත්‍ර වෙමින් සිටියි. රනිල් හා වත්මන් තත්වය පිළිබඳ අපූරු විග්‍රහයක් ‘ලංකා ඊ නිවුස්‘ හී පළ විය. ආනුභාවනන්ද යන නමින් ලියා ඇති මේ ලිපිය මෙසේ පළ කෙරෙන්නේ ඊට කෘතවේදී වෙමිනි.
‘මා මිත්‍ර අනුර‘ - කෙළිය නේද තාප්පෙට...?
අරගලයේ ප්‍රධාන බලවේගයක් වූයේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය, ශිෂ්‍යාවන්ය. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ඔවුන් වෙනුවෙන් පෙනී සිටි අතර එහි කැඳවුම්කරු වූයේ වසන්ත මුදලිගේ ය. ජනතා අරගලය පිහිටින් ජනාධිපතිධූරය ඩැහැගත් රනිල් වික්‍රමසිංහගේ පළමු රාජකාරිය වූයේ ජනතා අරගලයට සම්බන්ධවූ තරුණ තරුණියන් මර්දනය කිරීම ය. එහි සංකේතාත්මක ගොදුර වූයේ වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ නායකයන්ය. වසන්ත මුදලිගේව රාජ්‍ය දේපළ අවභාවිත කිරීම නොහොත් රාජ්‍ය දේපළවලට අලාභ හානි කිරීම යටතේ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. වසන්ත මුදලිගේට එල්ල කළ චෝදනාව වුයේ පාර්ලිමේන්තු පාරේ සිදු කළ උද්ඝෝෂණයක දී මිනී පෙට්ටියක කාඩ්බෝඩ් අනුරුවක් පිලිස්සීම හේතුවෙන් පාරේ තාර වලට හානියක් සිදු කළ බවයි..!
පාරේ තාරවලට හානි කිරීමේ වරදට වසන්ත මුදලිගේ රිමාන්ඩ්… එහෙත් එම අනුරුව පිලිස්සීමෙන් පාරට කිසිදු හානියක් සිදුවී තිබුණේ නැත. මෙයට පෙර මෙවැනි අනුරූ දහස් ගණනක් විවිධ උද්ඝෝෂණවලදී පුලුස්සා තිබූ අතර ඒ පිළිබඳ පොලීසිය කිසිවෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර නොතිබුණි. වසන්ත මුදලිගේට එරෙහිව එම චෝදනා එල්ල කළේ ඔහුව දඩයම් කිරීමේ අරමුණින් ම ය. රාජ්‍ය දේපළ අවභාවිත කිරීම නොහොත් රාජ්‍ය දේපළවලට අලාභ හානි කිරීම යටතේ චෝදනා ගොනු කළ විට (රුපියල් 25000 ක මූල්‍ය වටිනාකමකට වඩා) මහේස්ත්‍රාත් අධිකාරියේ දී ඇප ලබා ගැනීමට නොහැකිය. පාර්ලිමේන්තු පාරේ තාරවලට හානි කිරීමේ චෝදනාව යටතේ වසන්ත මුදලිගේ රිමාන්ඩ් බන්ධනාගාරයට යැවීමට රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ පොලීසිය සමත් විය. මෙය වසන්ත මුදලිගේට පමණක් මුහුණදීමට සිදුවූ අසාධාරණයක් නොවෙයි. ගෝල්ෆේස් ජනතා අරගලයට සම්බන්ධවීමේ වරදට රටපුරා තරුණ තරුණියන් දහස් ගණනක් අසාධාරණ ලෙස රනිල් රාජපක්ෂ ආණ්ඩුව විසින් අත්අඩංගුවට ගැනිණි. මේ තරුණ තරුණියන් අත්අඩංගුවට ගනු ලැබූවේ පොහොට්ටුවේ ඇමතිවරුන් සහ ප්‍රාදේශීය නායකයන් පොලීසියට ලබාදුන් නම් ලැයිස්තු අනුවය.
අරගලයට සම්බන්ධ තරුණයන් තුන්දහසක් දඩයම් කරයි….
රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ බලකිරීම මත පොලීසිය සහ “ස්වාධීන” නීතිපති මේ තරුණ තරුණියන්ට විවිධ අභූත චෝදනා යටතේ නඩු පැවරූහ. ඒ අතරින් ප්‍රමුඛ චෝදනාවක් වන්නේ රාජ්‍ය දේපළ අවභාවිත කිරීම නොහොත් රාජ්‍ය දේපළවලට අලාභ හානි කිරීමය. ජනතා අරගලයට සහභාගීම නිසා පලිගැනීමට ලක් වූ මේ තරුණ තරුණියෝ අද ද අසරණව සිටිති. ඔවුන්ට රැකියාවකට ඉල්ලුම් කිරීමේ දී සහ විදේශ ගතවීම්හිදී මේ නඩු පැවරීම් විශාල බාධකයකි. විශේෂයෙන් විදේශ අධ්‍යාපනය, රැකියා සඳහා අවශ්‍ය පොලිස් වාර්තා ලබා ගැනීමේ දී මේ තත්ත්වය තීරණාත්මක බලපෑමක් ඇති කර තිබේ. නීති සහ සමාජ භාරය (Law and Society Trust) වර්තමාන අධිකරණ ඇමතිවරයාට ලිපියක් යොමු කරමින් ජනතා අරගලයට සම්බන්ධවීම හේතුවෙන් අභූත චෝදනා යටතේ දේශපාලන වශයෙන් පලිගැනීමට අත්අඩංගුවට ගෙන නඩු පවරා තිබෙන තරුණ තරුණියන් තුන් දාහකට අධික ප්‍රමාණයකට සාධාරණ ඉෂ්ඨ කරන ලෙසට ඉල්ලා සිටියේ ය. රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ පොලීසිය දේශපාලන අවශ්‍යතා සහ අත්තනෝමතික ක්‍රියාමාර්ග යටතේ මේ නඩු පැවරුවේ පැහැදිලිවම පළිගැනීමේ අදහසින් බව නීති සහ සමාජ භාරය වර්තමාන අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාරට යොමු කළ ලිපියේ විස්තරාත්මකව අවධාරණය කරයි.
රනිල්ට දෛවයේ සරදමක්…
දෛවයේ සරදමකට මෙන් ඇටවූ ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව නඩු පවරා ඇත්තේ ද රාජ්‍ය දේපළ අවභාවිත කිරීම යටතේ ය. “Goes round comes around” කියන්නේ මේවාට ය. එහෙත් ඔහුට එරෙහි එම චෝදනාව වසන්ත මුදලිගේට මෙන් පාර්ලිමේන්තු පාරේ තාර කට්ටට හානි කිරීමටක් හෝ අරගලයට සම්බන්ධ තුන්දහසකට අධික තරුණ තරුණියන්ට පැවරූ ආකාරයේ බොරු චෝදනා නොවෙයි. වසර 2023 වසරේ සැප්තැම්බර් මස 22 සහ 23 යන දිනවල බ්‍රිතාන්‍යයේ පෞද්ගලික සංචාරයක නිරත වෙමින් ඒ සඳහා දින දෙකක් තුල රුපියල් ලක්ෂ 166ක රජයේ මුදල් වැය කර රජයේ අරමුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අගෝස්තු 22 වන දා පස්වරුවේ දී අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
කැටයේ මුදල් තනියම කෑම …
මේ සංචාරයේදී රනිල් වික්‍රමසිංහ වියදම් සිදුකළ ආකාරය සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණය ඉදිරියේ අපූරු පැහැදිලි කිරීමක් සිදු කළේ ය. ''ස්වාමිනි මේ කියන වුල්වහැම්ප්ටන් විශ්වවිද්‍යාලය තිබෙන්නේ ලන්ඩනයේ සිට කිලෝමීටර් 206ක වගේ දුරකින් එහෙම තිබෙද්දිත් ස්වාමිනී ඔහු නැවතී ඉඳලා තිබෙන්නේ ලන්ඩනයේ තිබෙන ලෑන්ඩ් මාර්ක් කියන සුඛෝපභෝගී හෝටලයේ ස්විට් එකක. එතන ඉඳලා ස්වාමිනී ඔය කියන විශ්ව විද්‍යාලයට යන්නයි එන්නයි කිලෝමීටර් 400 ක් පමණ තිබෙනවා. පස්සේ වුල්වහැම්ප්ටන් විශ්වවිද්‍යාලය අසලත් විනාඩි 5ක වගේ දුරකින් කාමර දෙකක් වෙන් කරලා තිබෙනවා.මෙහිදී සිදුකර තිබෙන වියදම් දෙස අවධානය යොමු කළොත් වාහන කුලීවලට ලක්ෂ 45ක්, ආහාරපාන සඳහා ලක්ෂ 3ක් නවාතැන් සඳහා ලක්ෂ 34ක්, අමුත්තන්ගේ පරිහරණය සඳහා ලක්ෂ 27ක් වගේ වියදම් සිදුකරලා තිබෙනවා. ස්වාමිනී මේ වියදම් සිදුකරලා තිබෙන්නේ මෙරට තුළ ඩොලර් හිඟයක් තිබෙනවා කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ රට බංකොලොත්වීම සම්බන්ධයෙන් නඩු යන්නා වූ කාලය තුළයි. හරියටම කියනවනම් මේ කාලයේ මට බංග්ලාදේශයේ රාජකාරී ගමනක් යන්න සිදුවෙලා ඩොලර් 75ක් සොයාගන්නත් බොහෝ වෙහෙසුණා. මේ සංචාරයට ජනාධිපතිවරයා සමග එක් වූ පොලිස් නිලධාරියෙකුගෙන් සිදුකරපු ප්‍රශ්න කිරීමකදී ඔහු කියනවා ජනාධිපතිවරයා ලෑන්ඩ්මාර්ක් හෝටලයෙන් උපාධි ප්‍රධානෝත්සවයට යනවා හැරෙන්නට වෙනත් කිසිදු අවස්ථාවක එලියට ආවේ නැහැ කියලා. ඒ කියන්නේ ඉතාමත් පැහැදිලියි මේ කාලවකවානුව තුළ ජනාධිපතිවරයා කිසිදු ආකාරයක රාජ්‍ය නායකයෙකු හමුවකටවත් සම්බන්ධවුණේ නැහැ. ඒ කියන්නේ මේක සම්පූර්ණයෙන්ම පෞද්ගලික සංචාරයක්. මේක ස්වාමීනි හරියට දරිද්‍රතාවයෙන් පෙළුණු පවුලක් ජීවත්වෙන්න කැටයකට මුදල් එකතු කරලා අනිත් සාමාජිකයන්ට නොදී කැටේ මුදල් අරගෙන තනියම ගිහින් කෑවා බිව්වා වගේ වැඩක්.'
ජනාධිපති රනිල්ගේ “රට ගාය” සඳහා රුපියල් මිලියන 600ක් …
ඇටවූ ජනාධිපති රනිල් වික්‍රමසිංහට තදබල “රට ගායක්” තිබිණි. හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ විදේශ සංචාර 23 කට රු. මිලියන 600කට වැඩි වියදමක් වැය කර තිබේ. වසර 2022 වසරේ ජූලි 20 සිට 2024 සැප්තැම්බර් 23 දක්වා මාස විසිහයකට ආසන්න කාලය තුළ බලයේ සිටි රනිල් වික්‍රමසිංහ විදෙස් සංචාර 23කට සහභාගී වී තිබේ. ඒ අනුව ආසන්න වශයෙන් මාසයකට එක් විදේශ සංචාරයක නිරත වී තිබේ. මෙය තදබල “රට ගායක්” බව පැහැදිලිය. එක් සංචාරයක් සඳහා සාමාන්‍යයෙන් රුපියල් මිලියන 26 කට වඩා මුදලක් වියදම් කර ඇත. මේ කිසිවක් ජනාධිපති වික්‍රමසිංහගේ පෞද්ගලික ධනය නොවෙයි. ඔහුගේ “රට ගාය” සඳහා වියදම් කරනු ලැබූවේ අපේ රටේ අහිංසක දුප්පත් ජනතාවගෙන් එකතු කරගත් බදු මුදල් ය. මේ සා දැවැන්ත මුදලක් වෙන්කරනු ලැබුවේ රටේ ජනතාවට එදා වේල කෑමට නොහැකිව අසරණව සිටියදී ය. රට ආර්ථික වශයෙන් බංකොලොත්ව සිටි මොහොතකය. වසන්ත මුදලිගේ පාර්ලිමේන්තු පාරේ තාර කට්ටකට හානි කළ බවට අභූත චෝදනා කරමින් රිමාන්ඩ් භාරයට පත් කළේ නම් රුපියල් ලක්ෂ 166ක රජයේ මුදල් අවභාවිතා කිරීම පිළිබඳ රනිල් වික්‍රමසිංහ රිමාන්ඩ් කිරීම පිළිබඳ පුදුම විය යුතු නැත. එහෙත් ඇතැම් දෙනා ඒ සම්බන්ධයෙන් කම්පනයට පත්ව සිටින්නේ රටේ නීතිය සැමට එක ආකාරයට ක්‍රියාත්මකවීම අදහා ගත නොහැකිවය.
රටවල් 78ක හිටපු රාජ්‍ය නායකයන් බන්ධනාගාර ගතව…
රනිල් වික්‍රමසිංහ යනු මෙරට දේශපාලන ප්‍රභූ පංතියේ ප්‍රධාන නියෝජිතයා ය. නිදහසින් පසුව කිසිදිනෙක මෙරට දේශපාලන ප්‍රභූ පංතියට රටේ නීතිය ක්‍රියාත්මක වූයේ නැත. ඔවුන් වැජඹුනේ සාමාන්‍ය නීතියට ඉහළිනි. ඔවුනට නීති මුක්තිය හිමිව තිබිණි. එහෙත් ලෝකයේ බහුතරයක් රටවල පාලක පංතියට ද රටේ නීතිය වලංගු අතර ඔවුන්ට නීති මුක්තියක් නැත. අපේ අසල්වැසි පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් දැන් සිරදඬුවම් විඳියි. ඔහු සහ ඔහුගේ බිරිඳට එල්ල වූයේ රාජ්‍ය දේපොළ අවභාවිතා කිරීමේ චෝදනා ය. දකුණු කොරියානු හිටපු ජනාධිපති Yoon Suk Yeol දැන් සිටින්නේ බන්ධනාගාරගතව ය. ඔහුට එල්ල වූයේ යුධ නීතිය අයථා අන්දමට පැනවීමේ චෝදනාව ය. වාර්තාවන්ට අනුව වසර 2000 සිට රටවල් 78 ක හිටපු රාජ්‍ය නායකයන් තම පාලන කාලයන්හි දී සිදු කරනු ලැබූ අපරාධ, අල්ලස් සහ දූෂණ, මූල්‍ය අවභාවිතයන් සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කරනු ලැබ සිටියි. එබැවින් රනිල් වික්‍රමසිංහ රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම ගැන පුදුම විය යුතු නැත.
විපක්ෂයේ ඉල්ලන් කෑම…
රනිල් වික්‍රමසිංහ රිමාන්ඩ් කිරීම සම්බන්ධයෙන් අද එක මිටකට පැමිණ මාලිමා ආණ්ඩුවට විරෝධය පල කරන විපක්ෂයේ නියෝජිතයන් පසුගිය වසරක කාලයක් පුරා මැතුරූ මන්තරය කුමක් ද? මාලිමා ආණ්ඩුවට රනිල් වික්‍රමසිංහට අතක් තැබීමට තරම් දේශපාලන පෞරුෂයක් නොමැති බවයි. අනුර කුමාර දිසානායක සහ රනිල් වික්‍රමසිංහ අතර දේශපාලන ඩීල් තිබෙන බවට ඔවුහු චෝදනා කළහ. ඔවුහු මාලිමා නායකයන්ට “රතු අලි පැටව්” වශයෙන් අපහාස, උපහාස කළහ. එමෙන්ම රනිල් වික්‍රමසිංහට එරෙහිව ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙසට ඔවුහු මාලිමා ආණ්ඩුවට ප්‍රසිද්ධියේ අභියෝග කළහ. වසරකට ආසන්න කාලයක් අපහාස, උපහාසවලට ලක්කරමින් බිත්තියට හේත්තු කරනු ලැබූ ආණ්ඩුව ප්‍රතිචාර දක්වා තිබේ. එබැවින් දැන් විපක්ෂයේ නියෝජිතයන් ඤාව්, ඤාව් ගෑමෙන් ඵලක් නැත. මෙය විපක්ෂය විසින් සිදු කරනු ලැබූ ඉල්ලන් කෑමකි.
ප්‍රභූ දේශපාලන පංතිය සලිතවීම…
රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමට මාලිමා ආණ්ඩුවට ශක්තිය තිබුණේ නම් අනෙකුත් ලපයි සිපයි කෑලිවල ඉරණම ගැන අමුතු වෙන් කිවයුතු නැත. පසුගිය කාලය පුරා රනිල් වික්‍රමසිංහගේ දේශපාලන සහ පෞද්ගලික ජීවිතය පිළිබඳ අපහාස උපහාස කළ විපක්ෂ බලවේග අද රිමාන්ඩ්භාරයට පත් වූ රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පොදු පෙරමුණකට එක්ව සිටින්නේ මේ අනතුර නිසාය. එසේ නොමැතිව රනිල් වික්‍රමසිංහ කෙරෙහි තිබෙන විශේෂ ආදරයක්, ගෞරවයක් නිසා නොවෙයි. මෙරට දේශපාලන ප්‍රභූ පංතියේ ප්‍රධාන නියෝජිතයා වන රනිල් වික්‍රමසිංහට අත්වී තිබෙන ඉරණම ඉදිරියේ ප්‍රභූ දේශපාලන පංතිය සලිත වී සිටීම පිළිබඳ පුදුමය විය යුතු නැත. ඔවුන් සැබවින්ම බිය විය යුතුය. ඔවුන් සිය ජීවිත කාලය පුරා බුක්ති විඳි නීති මුක්තිය දැන් නැත.
මාලිමා ආණ්ඩුවේ “රුබිකන් තරණය”
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිව් දිනකට රිමාන්ඩ් බන්ධනාගාර ගතවීම පිළිබඳ අපට විශේෂ සතුටක් හෝ කණගාටුවක් නැත. එහෙත් මෙරට නීතිය සැමට එක සමානව ක්‍රියාත්මකවීම පිළිබඳ අපට පහන් හැඟීමක් ඇත. එය ලක්ෂ හැට අටකට අධික පොදු ජනතාවගේ ප්‍රාර්ථනයයි. එය ගෝල්ෆේස් මහජන අරගලයේ ජයග්‍රහණයකි. මේ “රුබිකන් තරණය” එක්තරා ආකාරයක නව “සිවිල් යුද්ධයක්” නිර්මාණය කර තිබේ. ඒ පිළිබඳව අපේ රටේ දැනට සිටින දේශපාලන විද්‍යාව පිළිබඳ විශිෂ්ටතම ප්‍රාමාණික බුද්ධිමතා වශයෙන් සළකන මහාචාර්ය ජයදේව උයන්ගොඩ, හිටපු ජනාධිපති රනිල් අත්අඩංගුවට ගැනීම ගැන සම්බන්ධයෙන් තැබූ සටහන මෙසේ ය:
"ඊයේ දිනයේ ශ්‍රී ලංකාවේ සමකාලීන දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් විය. සම්ප්‍රදායික, කොළඹ-කේන්ද්‍රීය දේශපාලන ප්‍රභූන් සහ නිර්-ප්‍රභූ සමාජ බලවේගත් ඔවුන්ගේ තේරී පත් වූ නියෝජිතයනුත් අතර විසංවාදය සහ ගැටුම ගුණාත්මක වශයෙන් නව අවදියකට ළඟා වී තිබේ. එක්තරා ආකාරයක නව පන්ති යුද්ධයක් මහජනයා ඉදිරියේ, රූපවාහි කැමරා සහ ජාත්‍යන්තර මාධ්‍ය ඉදිරියේ පුපුරා ගොස් තිබේ. ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයා කළු පාට බන්ධනාගාර රියකින් සිරගෙදරට රැගෙන යන ඡායාරූපයක් ජනමාධ්‍ය මගින් නිකුත් වී ඇත. මිල අධික නමුත් හොඳටම පොඩි වී ඇති සුදු කමිසයක් හැඳ, මාංචු දමා සහ පරාජිත බැල්මෙන්. සංඥාර්ථවේදී අර්ථයෙන් මේ ඡායාරූපය අපට කිව යුතු සියල්ල කියයි” (පරිවර්තනය ඩී. එදිරිවීර).
පොදු ජනතාවගේ බලාපොරොත්තුව…
වසරකට පමණ පෙර මෙරට පොදු ජනතාව දේශපාලන ප්‍රභූ පංතිය තීරණාත්මකව පරාජය කළේ යළි හැරීමට නොවෙයි. එබැවින් මාලිමා ආණ්ඩුව “රුබිකන් තරණය” කර ඉදිරියට යා යුතුය. ප්‍රභූ පංතිය මෙහෙය වන “සිවිල් යුද්ධය”ට මුහුණ දී එය ජය ගත යුතුව ඇත. මෙය මාලිමාව පසුගිය ජනාධිපතිවරණයේ දී සහ මහමැතිවරණයේ දී ජනතාව ඉදිරියේ තැබූ පොරොන්දුව මිස අන් කිසිවක් නොවෙයි. මේ මොහොතේ පොදු ජනතාවගේ බලාපොරොත්තුව වන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව එම පොරොන්දුව ඉටු කරනු ඇති බවයි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික සහ දේශපාලන හිතවතුන්ට මෙන්ම හාමුලාගේ වලව්වල දාසකම් කරන වහලුන් මේ සිද්ධියෙන් කම්පාවට මෙන්ම කෝපයට පත්වීම සාධාරණය. එහෙත් මෙරට පොදු ජනතාවගේ ප්‍රාර්ථනය වූයේ සැමට නීතිය සමානව ක්‍රියාත්මක වන රටකි. එවැනි රටක කිසිවෙකුට නීති මුක්තියක් නැත. එහි දී රනිල් වික්‍රමසිංහ ද, මහින්ද රාජපක්ෂ ද, අනුර කුමාර දිසානායක ද කියා විශේෂයක් තිබිය නොහැකි ය. එවැනි රටක් නිර්මාණය කර ගැනීමේ දී තම පෞද්ගලිකව අවශ්‍යතා, දේශපාලන අභිමතාර්ථ වෙනුවට සමස්ත රටේ අභිවෘද්ධිය ගැන අප සිතිය යුතුය. ක්‍රි.පූ. 49 දී ජූලියස් සීසර් “රුබිකන්” නදිය තරණය කළේ යළි හැරීමක් නොමැති බව අවබෝධයෙනි. වසරකට පෙර මාලිමාව තෝරා ගත් අපට ද නැවත හැරීමක් නැත. ප්‍රභූ දේශපාලන පංතිය මෙහෙය වන “සිවිල් යුද්ධය”ට මුහුණ දී එය ජය ගත යුතුය. එය අපට පැවරී ඇති අත්හල නොහැකි වගකීමකි.
0 Comments